ලොව වැඩිම ජනගහනය සහිත රට හැටියට චීනය සැලකෙයි. එහි වර්තමාන ජනගහනය බිලියන 1.4 ඉක්මවයි. ජනගහනය අතින් ලොව ඉදිරියෙන්ම පසුවන රට චීනය වන්නා සේම සංස්කෘතික විවිධත්වය හා විචිත්‍රත්වය අතින් ලොව පෙරමුණේම පසුවන රටක් හැටියට ද චීනය නම් දරයි. මෙහි ඒ තරමටම සංස්කෘතිය විසල්ය, විවිධය. විශිෂ්ට සංස්කෘති සහිත බොහෝමයක් රාජ්‍යයන්හි එම සංස්කෘතීන් ප්‍රධාන ආගම් මත පදනම් වන ආකාරයක් දක්නට ලැබුණ ද චීනයේ තත්ත්වය වෙනස්ය. එහි සියයට අසූවකට වඩා වැඩි ජනතාවකට ආගමක් නැත. මේ තත්ත්වය දේශපාලනික වචනයෙන් පැහැදිලි කරන්නේ නම් චීනය නිරාගමික රාජ්‍යයකි.
කෙසේවෙතත් චීනය සතුව ඇත්තේ එයටම අනන්‍ය වූ සංස්කෘතියකි. එම සංස්කෘතියෙහි නිශ්චිත ආගමික රූපයක් නැතත් චීන ජනතාවගේ ඇදහිලි හා විශ්වාසයන්, හරයන් හා අගයයන් එහි නොඅඩුව දක්නට ලැබෙයි. මෙහි ඇති අනෙක් වැදගත් කාරණය නම් බොහෝ රටවල සාම්ප්‍රදායික සංස්කෘතික අංග නූතනත්වය හමුවේ හැකිළී යන හෝ අභාවයට යන හෝ තත්ත්වයක් දක්නට ලැබුණ ද චීනයේ සාම්ප්‍රදායික සංස්කෘතික අංග නූතනත්වය සමගින් නව මුහුණුවරකින් විකසිත වන ස්වභාවයක් දිස්වීමයි. මේ ආකාරයට බලන විට ආර්ථිකව, දේශපාලනිකව හා තාක්ෂණිකව වේගයෙන් නවීකරණය වන චීනයෙහි අතීත ශ්‍රී විභූතිය වර්තමානයටත් අනාගතයටත් ගෙනයන වාහකයා වී ඇත්තේ එහි එන විසල් සංස්කෘතියයි.
චීන මහා සංස්කෘතියෙහි එන දසදහස් ගණන් වන සංස්කෘතික අංග හා උත්සව අතර සකල ජනතාවම ප්‍රාදේශීයව පැන නගින සුළු වෙනස්කම් සහිතව සමරන ප්‍රධාන සංස්කෘතික උත්සවයක් පසුගිය 03 වැනි දිනට යෙදී තිබිණි. එනම් “මකර ඔරු උත්සවය” (Dragon Boat Festival) ය. ඩුඅන්වූ යනු මේ සඳහා යෙදෙන තවත් නමකි.
චීනයේ ඉපැරණි ලුනන් නමැති දින කැලැන්ඩරයට අනුව පස් වැනි මස පස් වැනි දිනට මේ උත්සවය යෙදෙයි. චීනයේ සාම්ප්‍රදායික සිරිත් විරිත් හා ක්‍රියාකාරකම් රැසකින් හැඩගැන්වෙන මේ උත්සවයෙහි නිධාන කතාව අදින් වසර දසදහස් ගණනක අතීතයකට විහිදෙයි. චියු යුආන් (Qu Yuan) (ක්‍රි:පූ: 340-278) යනු අතීත චීනයෙහි විසූ දක්ෂ හා දේශමාමක කවියෙකි. මේ උත්සවයෙහි සැබෑ අරුත නම් මේ කවියා සිහිපත් කිරීමයි.
චියු යුආන් කවියකු වූවා සේම ෂූ (Chu) නමැති රාජධානියේ අමාත්‍යවරයෙක් ද විය. මෙම රාජ්‍ය පැවැති බලප්‍රදේශය වර්තමාන හ(අ)බෙයි පළාතෙන් සංකේතවත් වෙයි. චියු සේවය කළ රාජ්‍යයෙහි රජතුමා එක් විටකදී තවත් බලසම්පන්න රාජ්‍යයක් ලෙස පැවැති චින් (Qin) රාජ්‍යය සමඟ එකතුවීමට ගත් තීරණයට චියු සිය විරෝධය පළ කර ඇති අතර එයින් කෝප වී ඇති රජතුමා චියු හට රාජද්‍රෝහී චෝදනා එල්ල කොට ඔහු රටින් පිටුවහල් කිරීමට තීරණය කර ඇත. මේ අවස්ථාවේදී චියු විශිෂ්ට අන්දමේ කාව්‍ය නිර්මාණයක යෙදී ඇති බවට ද චීන ජනප්‍රවාදයේ තොරතුරු සඳහන් වෙයි.
මේ සිදුවීමෙන් වසර 28කට පසු චින් රාජ්‍යය විසින් චියු සේවය කළ රාජ්‍යයේ අගනුවර වන ඉන්ග් නගරය අත්පත් කරගන්නා ලදී. සිය උපදේශ රජතුමා පිළිනොගැනීමෙන් සිදුවූ මේ නස්පැත්තිය ඉවසාගත නුහුණු තැන චියු, මිලුඕ (Miluo) නමැති ගඟට පැන සියදිවි නසාගෙන ඇත. මේ බව දැනගත් ෂූ රාජ්‍ය වැසියන් චියුගේ මෘත ශරීරය සොයන්නට සිය ඔරු මිලුඕ ගංදියෙහි තරගයට මෙන් පදවා ඇතත් චියුගේ මෘත ශරීරය ඔවුන්ට සොයා ගැනීමට හැකි වී නැත.
චියුගේ දේහය සොයාගත නොහැකිවූ තැන වැසියන් කර ඇත්තේ සොන්ස (Zongzi) නමින් හඳුන්වන ඇලෙනසුලු බතක් සාදා එය මිලුඕ නදියෙහි සිටිනා මාළුන්ට ආහාර පිණිස දැමීමය. ඔවුන් එය කර ඇත්තේ චියුගේ මෘතදේහය මාළුන්ගේ ආහාරයක් වීම වළකනු අටියෙන් බවට ද චීන ජනප්‍රවාදයෙහි එන විස්තරවල දැක්වෙයි. මකර ඔරු උත්සවය ලෙස හැඳින්වෙන මේ උත්සවය ආරම්භ වී ඇත්තේ මේ සිදුවීම මුල්කොටගෙනය.
මේ උත්සව අවධියේ චියු යුආන්ට අමතරව අනුස්මරණය කෙරෙන තවත් සුවිශේෂී පුද්ගලයෝ දෙදෙනෙක් සිටිති. එක් අයකු නම් “ව්යු සිෂියු” (Wu Zixu) ය. හෙතෙම ව්යු (Wu) රාජධානියේ අගමැති ලෙස කටයුතු කර ඇති අතර රාජ්‍යයට භයංකර ප්‍රතිවිපාක ගෙනදිය හැකි රජුගේ ඇතැම් තීරණවලට ඔහු විරෝධය පළ කිරීම නිසා රජු ඔහු මරවා ඇත. ඔහුගේ මෘතදේහය ගඟට විසිකර ඇත්තේ ද ලුනන් කැලැන්ඩරයෙහි එන පස්වැනි මස පස්වැනි දිනය.
මේ උත්සව අවධියේ අනුස්මරණය කෙරෙන අනෙක් චරිතය නම් “සාඔ අ” (Cao E) (ක්‍රි:ව: 130-144) නමැති තරුණියයි. ඇය ඊශානදිග චීනයේ සජියන්ග් පළාතෙහි ජීවත්වී ඇති අතර ඇයගේ පියාගේ නම සාඔ ෂියු ය. ඔහු දේශීය උත්සව ආදියෙහි ශාමන්වරයකු ලෙස කටයුතු කර ඇත. ක්‍රි:ව: 143 වසරේදී පෙර සඳහන් කළ මකර ඔරු තරග උත්සවයක් අතරතුර සාඔ අ ගෙ පියා ගඟට ඇදවැටී මියගොස් ඇති අතර එයින් දැඩිලෙස ශෝක වී ඇති ඇය ගඟට පැන දවස් තුනක් තිස්සේ සිය පියාගේ මෘතදේහය සොයා ඇති බවත් දවස් පහකට පසුව ඇයගේ හා පියාගේ මෘතදේහ ගම්වාසීන්ට හමුවී ඇති බවත් ජනප්‍රවාදයේ එන තොරතුරුවල විස්තර වෙයි. මෙම සිද්ධියෙන් වසර අටකට පසු මේ වීර දියණිය සිහිකිරීම හා වන්දනාමාන කිරීම පිණිස Shangyu දිස්ත්‍රික්කයේ පන්සලක් ද ඉදිකර ඇති අතර ඇයගෙත් පියාගේත් මෘතදේහ හමුවූ Shun ගඟ සාඔ අ ලෙස ද නම්කර ඇත.
මේ පුද්ගල චරිත අනුස්මරණය කිරීම සඳහා පැවැත්වෙන මකර ඔරු තරග අවධියේදී දැකිය හැකි ප්‍රධාන ක්‍රියාකාරකම් අතර එකක් වන්නේ පෙර සඳහන් කළ සොන්ස නමැති ඇලෙනසුලු පිරමීඩාකාර බතක් සාදා එය ආහාරයට ගැනීමය. අතීතයේදී මේ සොන්ස ගංදියට දැමීම සිදුවුවද වර්තමානයේදී එය සුලභව සිදුවන්නක් නොවෙයි. චීනයේ උතුරු පළාත් වැසියන් සොන්ස පැණි රසට සාදන විට දකුණු පළාත් වැසියන් එය සාදන්නේ ලුණු රසටය. මස් හෝ බිත්තර හෝ සමඟය. ඒ හැරුණු විට සොන්ස සාදන විදියෙහි විශාල වෙනස්කම් ප්‍රාදේශීයව දක්නට නොලැබෙයි.
“නෝමි” යන ඇලෙනසුලු සහල් වර්ගය මේ සඳහා භාවිත කරන අතර උතුරු පළාත් වැසියන් “මීසවු” යන නමින් හඳුන්වන දුඹුරු පැහැති හකුරු රසැති පැණි රස ද්‍රව්‍යයක් ඒ සඳහා යොදා ගනියි. මීසවු හා නෝමි කලවම් කර හොඳින් සෝදා ගත් බට ලී කොළ කැබැලි මත ඒවා අතුරන අතර අනතුරුව ඒවා පිරමීඩාකාර හැඩයට එතීම සිදු කරයි. පසුව එලෙස සාදාගත් සොන්ස නූල් කැබැලිවලින් හොඳින් ගැටගසන අතර නටන උණුදියෙහි විනාඩි විස්සත් තිහත් අතර කාලයක් හොඳින් තැම්බීමෙන් පසු ආහාරයට ගනියි.
මෙම මකර ඔරු තරග උත්සවයෙහි එන ප්‍රධානම අංගය වන්නේ මකර ඔරු තරග පැවැත්වීමයි. ගංගාවල මේ තරග පවත්වන අතර බොහෝවිට ඒවා සතියක කාලයක් පුරාවට පවත්වයි. ඒ ඒ පළාත්වල සිටින දක්ෂ ඔරු පදින්නන් එකතුවී ජාතික මට්ටමින් තරග පවත්වයි. චියු යුආන් කවියාගේ උපත සිදුවූ හ(අ)බෙයි පළාතෙහි මේ තරග වැඩි වශයෙන් දැකිය හැකිය.
මේ උත්සවයෙහි එන තවත් විචිත්‍රවත් අංගයක් නම් “වූ සයි සොන්” ය. එනම් රතු, කොළ, කහ, කලු, නිල් යන වර්ණ පහෙන් සමන්විත නූල් පහක් ගෙන රටාවකට එකට අමුණා අතෙහි පැලඳීමය. එසේ කිරීමෙන් ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමටත් ජීවිතවලට යහපත උදා කරගැනීමටත් හැකිවන බවට චීන ජාතිකයෝ විශ්වාස කරති. මෙහි එන තවත් ක්‍රියාකාරකමක් නම් ෂින්හුන් නමැති මත්පැන් වර්ගය පානය කිරීමයි. ඒ සඳහා වර්තමානයේදී රිඅල්ගාර් නමැති වයින් වර්ගය ද සුලභව යොදා ගනියි. මෙම මත්පැන් වර්ගය පානය කිරීමෙන් ද ලෙඩ රෝගවලින් ආරක්ෂා වී යහපත උදා කරගත හැකි බවට ඔවුහු විශ්වාස කරති. වැඩිහිටියෝ සිය දරුවන්ගේ නළල් මත මේ මත්පැන් තැවරීමට ද අමතක නොකරති. නිවෙස්වල ඉදිරිපස දොරෙහි දෙපැත්තට වන්නට කොළ අතු එල්ලීම ද මෙහිම එන චාරිත්‍ර විධියකි.
වසර 2008 සිට මේ උත්සවය යෙදෙන දින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට මහජන චීන සමූහාණ්ඩුව කටයුතු කර ඇති අතර 2009 වසරේදී මේ උත්සවය අස්පර්ශනීය ලෝක සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට යුනෙස්කෝ සංවිධානය පියවර ගෙන ඇත.
සටහන – උපුල් වික්‍රමසිංහ